Spotify සේවාව ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානමින් සිටින බව පසුගිය මාස කිහිපය ඇතුලත Facebook හරහා මෙන්ම අපගේ සහෝදර වෙබ් අඩවියක් වන Android වැඩකාරයෝ වෙබ් අඩවිය හරහා ද තොරතුරු වාර්තා වූ බව ඔබට මතක ඇති.

කෙසේ නමුත් මේ දක්වා මේ පිළිබඳව Spotify ආයතනය විසින් නිළ වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොතිබූ අතර, නිළ Spotify support සේවාව හරහා ද මෙහි සත්‍ය අසත්‍යයභාවය තහවුරු කරගැනීමට හැකියාවක් තිබුණේ නැහැ.

කොහොම නමුත් ඊයේ දිනයේ පැවති Spotify "Stream On" online event එක අතරතුරදී Spotify සමාගම ඔවුන්ගේ සේවාව ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 85කට ඉදිරි දින කිහිපය ඇතුලත ලබාදීමට කටයුතු කරමින් සිටින බව නිළ වශයෙන් වාර්තා කරනු ලැබුවා.

මෙම ව්‍යාප්ත කිරීම අප්‍රිකාව, ආසියාව, යුරෝපය, ලතින් ඇමෙරිකාව සහ කැරිබියන් යන කලාප වලට අයත් රටවල් වල සිටින බිලියනයක පමණ පිරිසක් ඉලක්ක කරගෙන සිදු කර ඇති අතර අදාල රටවල් වල සිටින කළාකරුවන් හා සම්බන්ධ වී එම කලාප වලට අයත් ගීත Spotify සේවාවට එකතු කිරීමට ද කටයුතු කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව Spotify සේවාවේ free සහ premium යන subscription වර්ග ද්විත්වයම මෙම කලාප වල සිටින පරිශීලකයින් හට භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර Individual, Family, Duo සහ Student යන Premium subscriptions ද හඳුන්වාදෙනු ලැබෙනවා.

මේ වන විට Spotify සේවාව සමඟින් මිලියන 340කට අධික active පරිශීලකයින් පිරිසක් එකතු වී සිටින අතර ඒ අතරින් මිලියන 150ක පමණ පිරිසක් Spotify Premium subscription එකක් භාවිතා කරනු ලබනවා. දැනට රටවල් 93කට පමණක් සීමා වී ඇති Spotify සේවාව මෙම ව්‍යාප්ත කිරීමත් සමඟින් ලොව පුරා රටවල් 170කට අධික ප්‍රමාණයක සිට භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Spotify Newsroom වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.