5G Network එකක් නිර්මාණය කිරීමේදී ජංගම දුරකථන නිෂ්පාදකයින් මුහුණ පාන ලද විශාලතම ගැටළු වලින් එකක් තමයි මේ millimeter waves (mmWaves) එහෙමත් නැතිනම් ඉතාමත් ඉහල සංඛ්‍යාත ඔස්සේ ගමන් කරන 5G signal කුඩා ජංගම දුරකථනයකින් ග්‍රහණය කරගැනීම කියන කාරණය.

විශේෂයෙන්ම මේ mmWaves කියන්නේ ඉතාමත් දුර්වල signal එකක් වන අතර පහසුවෙන්ම මෙය වෙනත් signal මගින් හෝ සරළව transmitter එක හා receiver එක අතර මැදින් පුද්ගලයෙකු ගමන් කළහොත් බාධාවන්ට ලක්විය හැකි වෙනවා. ඒ හේතුවෙන් smartphone වලට 5G ස්ථාපනය කිරීමේ අභියෝගය ජය ගැනීමට නම් එම smartphone එක අධික ලෙස තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතු වෙනවා.

කොහොම නමුත් ඔන්න දැන් Qualcomm සමාගම අද ඔවුන්ගේ ප්‍රථම mobile 5G antenna එක එළිදැක්වීමට කටයුතු කළ අතර මෙය smartphone එකක් වෙනුවෙන් නිර්මාණය කළ ලොව ප්‍රථම fully-integrated 5G NR mmWave සහ sub-6 GHz RF module එක වශයෙන් සැළකෙනවා.

Qualcomm_QTM052_Antenna_Module_and_Qualcomm_Snapdragon_X50_5G_Modem-tech-news-sinhala

එමෙන්ම මෙම QTM052 mmWave antenna module එක ඔවුන්ගේ Snapdragon X50 5G modem එකට අන්තර්ගත කරන්නට Qualcomm සමාගම කටයුතු කරනවා.

මෙම QTM052 antenna එක ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් මෙහි කුඩා antenna 4ක් අන්තර්ගත වන අතර මෙමගින් ඉතාමත් ක්‍රමවත් හා නිවැරදි ලෙස ලඟින්ම පිහිටි 5G tower එකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම Qualcomm X50 5G modem එකකට මෙවැනි antenna arrays 4ක් එක වර පාලනය කළ හැකි අතර එමගින් antenna 16ක බලය එකවිට ලබාගත හැකි වෙනවා.

qualcomm-mmWave-antenna-tech-news-sinhala

එමෙන්ම ජංගම දුරකථනයේ පැති හතරටම මෙවැනි antenna array එක බැගින් අන්තර්ගත කිරීමෙන් භාවිතා කරන්නා කිනම් ආකාරයකට දුරකථනය අල්ලාගෙන සිටියත් එයින් signal වලට බාධාවක් වන්නේ නැති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ වන විට Samsung, LG, Sony, HTC සහ Xiaomi වැනි දැවැන්ත smartphone නිෂ්පාදකයින් 2019 වර්ෂයේ නිෂ්පාදනය කිරීමට නියමිත ජංගම දුරකථන සඳහා මෙම X50 5G modem එක භාවිතා කිරීමට සූදානම් වෙමින් සිටින අතර ඒ සෑම දුරකථනයකටම පාහේ අද දින එළිදක්වන ලද QTM052 mmWave antenna module එක ඇතුලත් වේවි.

මීට අමතරව තම දුරකථන වල මෙම අළුත් antenna එක හොඳම තැනක අන්තර්ගත කිරීම වෙනුවෙන් මේ වන විටත් Qualcomm සමාගම විසින් මෙම අළුත් antenna එකෙහි samples ඉහත කී දුරකථන නිෂ්පාදකයින් වෙත යැවීමට කටයුතු කර ඇති බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.