Amber Alert, ශ්‍රී ලාංකික අපට නම් එතරම් හුරු පුරුදු නමක් නෙවෙයි. පසුගිය කාලවල ලංකාවෙන් අසන්නට ලැබුණු කුඩා දරුවන් සම්බන්ධ ම්ලේච්ඡ ක්‍රියා ඔබව කම්පනයට පත් කරන්නට ඇතැයි අප සිතනවා. කුඩා දරුවන් පැහැරගෙන යාම හා ඒ ආශ්‍රිත අපචාරයන් හා මිනීමැරුම් ශ්‍රී ලාංකික අපටත් දැන් නිතර අසන්නට ලැබීම ශෝකජනක තත්වයක්.

කුඩා දරුවන් පැහැරගෙන යාමේදී ඒ පිළිබඳව වෙලාසනින් අදාළ අංශ දැනුවත් කරන්න පුලුවන් නම් ඔවුනට වෙන හිරිහැර සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්නට පුලුවන්. ඉතිං මේ Amber Alert යනු එවැනි සේවාවක්. Amber නැමැති ඇමරිකානු කුඩා දැරියක් අතුරුදහන් වී ඝාතනය වීමත් සමඟ එවැනි අවාසනාවන්ත සිදුවීම් යළි සිදු නොවන්නට ඇරඹි මෙම සේවාව මේ වන විට රටවල් රැසක ක්‍රියාත්මකයි.

Amber alert - Wikipedia
Amber Alerts පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් Wikipedia පිටුව

මෙමඟින් යම් දරුවෙක් අතුරුදහන් වූ විට එම දරුවා පිළිබඳ සියලු තොරතුරු මෙන්ම පැහැරගත් වාහන වල තොරතුරු ද ඇතුළු අදාළ සියලුම විස්තර මාර්ගවල ඇති Digital පුවරු වල සිට දුරකථනය ද ඇතුළු Digital උපාංග වලට share කරන අතර එම සිදුවීමට අදාළ යමක් පුරවැසියෙකු දකින්නේ නම් ඒ පිළිබඳව අදාළ අංශ ඉකමනින්ම දැනුවත් කිරීමේ හැකියාව ලැබෙනවා.

ඉතිං Meta සමාගම විසින් ළඟදීම මෙම සේවාව Instagram වෙත එකතු කිරීමට සූදානම් වෙන අතර ඒ අනුව රටවල් 25 කට මුලින්ම මෙම සේවාව ලැබෙනු ඇති. 2015 සිට Facebook සතුවද මෙම සේවාව පවතින අතර මෙමඟින් අතුරුදහන් වන දරුවාවගේ ඡායාරූපයක්, කෙටි විස්තරයක්,අවසන් වරට සිටි ස්ථානය ඇතුළු එම අවස්ථාවේ පවතින සියලුම විස්තර Instagram feed එක මත දර්ශණය වෙනු ඇති.

මේ සඳහා ඇමරිකාවේ National Center for Missing & Exploited Children (NCMEC), The International Centre for Missing & Exploited Children, The National Crime Agency මෙන්ම , The Attorney General’s Office in Mexico හා Australian Federal Police යන ආයතන ඇතුළු ආයතන රැසකින් දත්ත ලබා ගැනීමට නියමිතයි.

මේ අනුව ඉදිරි සති දෙක ඇතුළත Argentina, Australia, Belgium, Bulgaria, Canada, Ecuador, Greece, Guatemala, Ireland, Jamaica, Korea, Lithuania, Luxembourg, Malaysia, Malta, Mexico, the Netherlands, New Zealand, Romania, South Africa, Taiwan, Ukraine, UK, UAE හා US රටවලට මෙම පහසුකම ලැබෙනු ඇති.

ඉතිං Amber Alert වැනි පහසුකමක් ශ්‍රී ලංකාවටත් හඳුන්වා දීමට තවත් ප්‍රමාද විය යුතු ද ?

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Social Media Today වෙබ් අඩවිය සහ MSN වෙබ් අඩවිය භාවිතා කළ හැක.