ශ්‍රී ලංකාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය හෙවත් Tech Hub එකක් ලෙස සැලකෙන Unity Plaza, පසුගිය දෙසැම්බර් 03 වැනිදා තවත් යෝධ පියවරක් තැබුවා. ඒ ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ විශාලතම එළිමහන් LED ඩිජිටල් තිරය විවෘත කිරීමත් සමඟයි.
ගාලු පාර, වැල්ලවත්ත සහ දුම්රියපොළ පාර යන පැති තුනටම දිස්වන සේ නිමවා ඇති මෙම තිරය හුදෙක් තාක්ෂණික දියුණුවක් පමණක් නොව, කොළඹ නගරයට ලැබුණු නව අලංකාරයක් බව කිව යුතුමයි.
මේ ව්‍යාපෘතිය එළිදැක්වීමට නියමිතව තිබූ කාල වකවානුව රට තුළ තරමක අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර ව්‍යසන හමුවේ බොහෝ ආයතන උත්සව පැවැත්වීම කල් දැමීම සිදු කළා.
නමුත් මෙම අවස්ථාවේදී On’ally Holdings PLC හි කළමනාකාර අධ්යක්ෂ M. H. Jamaldeen මහතා ඇතුළු කළමනාකාරීත්වයේ මූලිකම ප්‍රමුඛතාවය වී තිබුණේ ව්‍යාපෘතියට පෙර තම කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමයි.
ගංවතුර තත්ත්වය නිසා තම සේවක මණ්ඩලයට යම් පීඩාවක් සිදුවී ඇත්දැයි සොයා බලා, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසුවයි මෙම එළිදැක්වීම සිදු කිරීමට තීරණය කර ඇත්තේ.
මේ තිරය නිර්මාණය පිටුපස විශාල ක්‍රියාවලියක් තිබු බව අපට එහිදී දැනගන්නට ලැබුණා. යුනිටි ප්ලාසා පිහිටා තිබෙන්නේ මුහුදට ඉතා ආසන්නයෙන් බැවින්, ලවණ මිශ්‍ර සුළඟ (Sea breeze) මෙවැනි ඉලෙක්ට්‍රොනික තිරයකට බලපෑම් කළ හැකියි. මෙය හොඳින් අවබෝධ කරගත් ඉංජිනේරු කණ්ඩායම, මෙම තිරය නිර්මාණය කිරීමේදී "Marine Grade" සහ "Galvanized" අමුද්‍රව්‍ය භාවිත කිරීමටත්, ඊට ඔරොත්තු දෙන විශේෂිත Engineering measures අනුගමනය කිරීමටත් වග බලාගෙන තිබෙනවා.

චීනයේ Charming & Co. ආයතනය නිෂ්පාදනය කළ මෙම තිරය, යුනිටි ප්ලාසා හි දේශීය ඉංජිනේරු කණ්ඩායම විසින් ස්ථාපනය කිරීම සිදු කර තිබුණා.
බොහෝ දෙනෙකු මෙය අසල පිහිටි Majestic City වැනි වෙළඳ සංකීර්ණ සමඟ තරඟයක් ලෙස දුටුවත්, පාලනාධිකාරිය මෙය දකින්නේ වෙනත් කෝණයකින්. ඔවුන් විශ්වාස කරන්නේ මෙම නවීන ඩිජිටල් තිරය මඟින් මෙම වෙළඳ සංකීර්ණ ද්විත්වයටම මෙන්ම මුළු කොළඹ නගරයටම නව ආලෝකයක් ලැබෙන බවයි. මෙය කොළඹ නගරයේ අනෙකුත් Shopping Malls සඳහා ද අනාගතයේදී මෙවැනි තාක්ෂණික දියුණුවක් කරා යාමට හොඳ උත්තේජනයක් සපයනු ඇති බව ඔවුන්ගේ අදහසයි.
මෙම දැවැන්ත ආයෝජනයේ ප්‍රධාන අරමුණ වන්නේ "Tech Savvy" සහ තාක්ෂණයට උනන්දුවක් දක්වන පිරිස වැඩි වශයෙන් යුනිටි ප්ලාසා වෙත ආකර්ෂණය කර ගැනීමයි. වැඩි පිරිසක් තාක්ෂණික ලෝකයට පිවිසීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ද දායකත්වයක් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.
එමෙන්ම, යුනිටි ප්ලාසා සංකීර්ණය තුළ සිටින ව්‍යාපාරික ප්‍රජාවට තම නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගැනීමට අවැසි Advertising space ලෙස මෙය ක්‍රියාත්මක වේවි, එමඟින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණුවට සහ සේවක ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද මෙය රුකුලක් වනු ඇත.
