2024 වර්ෂයේදී දී සඳ මතට මිනිසුන් රැගෙන යාමේ NASA ආයතනයේ මෙහෙයුම සඳහා Elon musk ගේ SpaceX - Starship ව්‍යාපෘතිය තෝරා ගැනීමට NASA ආයතනයේ පසුගියදා තීරණය කළ අතර ඒ අනුව ඩොලර් බිලියන 2.9 ක සුවිශාල කොන්ත්‍රාත්තුවක් SpaceX ආයතනයට ලබාදීමට NASA ආයතනය කටයුතු කරනු ලැබුවා.

මේ අනුව Amazon සමාගමේ නිර්මාතෘ Jeff Bezos සතු Blue Origin අභ්‍යවකාශ ව්‍යාපෘතිය මෙන්ම මේ සඳහා තරඟ කළ අනෙකුත් සමාගම් ප්‍රතික්ෂේප කිරීමට NASA ආයතනය කටයුතු කර තිබුණා.

NASA ආයතනය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර සති දෙකක් ගතවීමටත් පෙර Jeff Bezos විසින් මීට විරුද්ධව පෙත්සමක් ගොනු කර තිබෙන අතර එය පිටු 175 කින් සමන්විත වෙන විශාල කරුණු දැක්වීමක් සහිත එකක් වෙනවා.

ඇමෙරිකානු Government Accountability Office එක වෙත ගොනු කර තිබෙන මෙම විරෝධතාවය තුළින් ඔහු NASA ආයතනය විසින් මෙකී චන්ද්‍ර මෙහෙයුම සඳහා වූ යෝජනාවේ කොටස් කීපයක් වැරදි ලෙස විනිශ්චය කර ඇති බව පෙන්වා දී තිබෙනවා.

කොහොම නමුත් මේ පිළිබඳව අදහස් පළ කළ NASA ආයතනය තමන්ට ඇති අරමුදල් හිඟය නිසා සමාගම් දෙකක් තෝරා ගන්නවා වෙනුවට එක් සමාගමක් පමණක් තෝරා ගැනීමට සිදු වී තිබෙන බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව Jeff Bezos සිය විරෝධතාවය තුළින් NASA ආයතනයේ මෙම තීරණය නැවත කැඳවන ලෙස ඉල්ලා තිබෙන අතර අරමුදල් හිඟයක් ඇත්තම් ඒ පිළිබඳව නව ප්‍රකාශයක් කරන ලෙසත්, සියලු තරඟකරුවන් සමග සාකච්ඡා යළි කැඳවන ලෙසටත් NASA ආයතනයට නියෝග කරන්නැයි ඉල්ලා තිබෙනවා.

Jeff Bezos ගේ මෙම විරෝධතාවය සම්බන්ධයෙන් Elon Musk විසින් "Can’t get it up (to orbit) lol,” යනුවෙන් උපහාසාත්මක Twitter පණිවිඩයක් නිකුත් කර තිබෙන අතර, එයින් Blue Origin ව්‍යාපෘතියට මේ දක්වා සඳ වෙතට කෙසේ වෙතත්, අඩු තරමින් කක්ශයට හෝ අභ්‍යවකාශ මෙහෙයුමක් සාර්ථකව අවසන් කිරීමට ඇති නොහැකියාව පිළිබඳව ඉඟි කර තිබෙනවා.

කෙසේ වුවත් මෙම විරෝධතාවයට කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව හෝ NASA ආයතනය සිය තීරණය වෙනස් කරාවිද නැද්ද යන්න පිළිබඳව තවමත් සඳහන් කළ නොහැකි අතර ඉදිරියේදී ඒ පිළිබඳව නව තොරතුරු අනාවරණය වෙනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ CNBCවෙබ් අඩවිය භාවිතා කළ හැක.