‌‌Apple සමාගම විසින් iOS 15 update එක iPhone පරිශිලකයන් සඳහා පසුගිය වසරේදී නිකුත් කළ අතර සුපුරුදු පරිදි මාස කිහිපයක් තුළ එහි කුඩා update කිරීම් දිගින් දිගටම ලබා දීමට Apple ආයතනය කටයුතු කර තිබුණා‍.

මේ වන විට Apple සමාගම විසින් IOS 15.4 හි පළමු beta නිකුතුව beta පරිශිලකයන් සඳහා යොමු කර ඇති අතර Apple පරිශිලකයන් ඉල්ලා සිටි ඇතැම් විශේෂ පහසුකම් මෙහි අන්තර්ගත වන බවට XDA - Developers වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව පැමිණි එක් වඩාත් ආකර්ශණිය නව විශේෂාංගයක් වනුයේ Universal Control පහසුකම වන අතර මෙමඟින් ඔබ iPad එකක iOS/iPadOS 15.4 install කර, ඔබගේ Mac එකක නවතම macOS 12 beta නිකුතුවට update කරගත් පසු, එක් උපාංගයක ඇති mouse සහ keyboard එකට තවත් උපාංගයක් පාලනය කිරීමට හැකියාව ලැබෙනු ඇති.

තවද, මෙම update එක මඟින් බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ විශේෂාංගයක් වනුයේ "Face ID with a Mask" නම් නව විශේෂාංගය වන අතර මෙම පහසුකම මඟින් ඔබට, Face mask එකක් පැලඳ සිටියත් ඔබේ iPhone එක Unlock කරගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙතෙක් ඔබ Face mask එකක් පැලඳ ඔබගේ iPhone එක unlock කිරීමට උත්සහා කළ විට, පද්ධතියට ඔබේ මුහුණ නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වූ බව ඔබ අත්දැකීමෙන්ම දන්නා නමුත් ඊට විසඳුමක් ලෙස ඔබ Apple Watch එකක් පැලඳ සිටිනවා නම්, එමඟින් දුරකථන unlock කිරීමේ හැකියාව Apple සමාගම විසින් ලබා දී තිබු බව ඔබට මතක ඇති.

ඉතිං එම විකල්පයට වඩා iOS 15.4 මඟින් හඳුන්වා දී ඇති මෙම නව පහසුකම වඩා ඵලදායී වනු ඇති අතර, මෙමඟින් ඔබ Face mask එකක් පැලඳ සිටියදී වුවද ඔබගේ iPhone එක ඉතා පහසුවෙන් unlock කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

Mac rumors වෙබ් අඩවිය විසින් පළකර ඇති වාර්තා වලට අනුව iOS 15.4 update එකත් සමඟ නව Emoji කිහිපයක්ද දැක ගැනීමට හැකි වෙනු ඇති අතර එයට “melting face” “saluting face” “face with peeking eye” සහ “dotted line face” වැනි Emoji ද ඇතුලත්ව ඇති බවට වාර්ථා වෙනු ලබනවා.

iOS 15.4 සෑම කෙනෙකුටම ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් නිළ සඳහනක් නොමැති නමුත් පසුගිය beta නිකුතුව අනුව අනුමාන කළහොත්, තවත් සති කිහිපයක් තුල සෑම iOS පරිශීලකයෙකුටම iOS 15.4 update එක ලැබෙනු ඇතැයි විශ්වාස කල හැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය , 9to5mac වෙබ් අඩවිය සහ Mac rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.