2017 වර්ෂයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone පරිශීලකයින් හට නොදන්වා ඔවුන්ගේ ජංගම දුරකථන වල speed එක හිතාමතා ම අඩු කිරීමට කටයුතු කර තිබුණු බවත්, එසේ කරන ලද බව Apple සමාගම විසින් නිළ වශයෙන් පිළිගැනීමටත් කටයුතු කළා මතක ඇති.

කොහොම වුණත් මෙම තත්ත්වය පැහැදිලි කරමින් Apple සමාගම ප්‍රකාශ කර සිටියේ අදාල iPhone වල battery එකේ ආයුකාලය අඩු වීමත් සමඟින්, ඊට සරිලන ලෙස CPU එක throttle කිරීමට ඔවුන් කටයුතු කළ බව වන අතර, ඒ හරහා පැරණි battery එක තවදුරටත් භාවිතා කිරීමට පරිශීලකයා හට හැකියාව ලැබෙන බවයි.

කොහොම නමුත් මෙය පරිශිලකයාගේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට, Apple සමාගම විසින් හොර රහසේම software updates හරහා පැරණි iPhone slow කිරීමකට ලක් කර ඇති බව පෙනෙන්නට තිබුණු අතර, ඒ හරහා බොහෝ පැරණි iPhone පරිශීලකයින් ක්‍රමයෙන් අලුත් iPhone මිලදීගැනීමට යොමු වන බව ද දකින්නට ලැබුණා.

කෙසේ වුවත් මෙම තත්ත්වය හෙළි වීමෙන් අනතුරුව, Apple සමාගම විසින් එය පාලනය කිරීම සඳහා setting එකක් ලබාදීමට කටයුතු කළ අතර, battery replacement එක සඳහා විශේෂ මිළ අඩුකිරීමක් ද ලබාදී, එය ඩොළර් 29ක මුදලකය සිදු කරගැනීමේ හැකියාව ලබාදෙනු ලැබුවා.

එහෙත් බොහෝ දෙනා මීට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබුණු අතර, මෙම වසරේ මුලදී Apple සමාගමට ඩොළර් මිලියන 500ක පමණ මුදලක් මීට වන්දි ලෙස පරිශීලකයින් හට ගෙවීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

මේ වන විට මීට විරුද්ධව පැවරුණු නඩු වලින්, ඇමෙරිකාවේ තවත් states 34කට අදාලව තීන්දුවක් ලබාදීමට කටයුතු කර ඇති අතර, මේ අනුව තවත් ‍ඩොළර් මිලියන 113ක වන්දි මුදලක් ගෙවීමට Apple සමාගමට නියම වී තිබෙනවා.

මීට හේතුව ලෙස අධිකරණය විසින් පෙන්වා දෙන්නේ තම පරිශීලකයින්ගේ ජංගම දුරකථන වල speed එක throttle කිරීමටත් කටයුතු කිරීමත්, battery එකේ ආයුකාලය අඩු වෙමින් පවතින බව පරිශීලකයාගෙන් සැඟවීමත් වන අතර, මේ හරහා පරිශීලකයාව නොමඟ යවමින් තම ආදායම වැඩි කරගැනීමට Apple සමාගම කටයුතු කිරීමයි.

විශේෂයෙන්ම battery එක replace කරගැනීමට පරිශීලකයාව යොමු කිරීම හෝ, ඊට අදාල තොරතුරු පෙන්වීමට කටයුතු නොකර, ඒ බව සඟවමින් ක්‍රමයෙන් පරිශීලකයාව අලුත් ජංගම දුරකථනයක් මිලදීගැනීමට පෙළඹවීම මෙම වන්දි මුදල ගෙවීමට ප්‍රධානතම හේතුව වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Washington Post වෙබ් අඩවිය සහ CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.