WhatsApp වල තිබෙන දුර්වලතාවයක් භාවිතා කරමින් Face ID හෝ Touch ID මඟහැර යාමට හැකියාව ලැබෙයි

පසුගිය පෙබරවාරි 4 වැනි දින Face ID හෝ Touch ID භාවිතා කරමින් WhatsApp lock කිරීමේ පහසුකම iOS භාවිතා කරන්නන් හට ලබා දීම පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම වුණත් මේ වන විට iPhone සඳහා හඳුන්වා දුන් මේ පහසුකමේහි දුර්වලතාවයක් හඳුනාගැනීමට WhatsApp පරිශීලකයෙකු සමත් වී තිබෙන අතර, ඒ හරහා Face ID හෝ Touch ID භාවිතා කරමින් lock කළ WhatsApp තුලට එම ආරක්ෂක ක්‍රම මඟහැර ඇතුළු වීමට අවස්ථාව ලැබෙන බව දැනගන්නට ලැබෙනවා.

මෙය අත්හදා බළන ආකාරය ඔහු විසින් Reddit Thread එකක් හරහා පැහැදිලි කිරීමට කටයුතු කර තිබෙන අතර ඉතාමත් පහසුවෙන් වැඩි තාක්ෂණික දැනුමක් නොමැති අයෙකුට වුවද අදාල පියවර අනුගමනය කිරීමෙන් Touch ID හෝ Face ID ආරක්ෂක ක්‍රමයන් මඟහැර WhatsApp වෙත පිවිසීමට මේ මගින් අවස්ථාව ලැබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Facebook සමාගම ප්‍රකාශ කර තිබෙන්නේ මෙම දුර්වලතාවය වෙනුවෙන් ඉතාමත් ඉක්මණින්ම fix එකක් ලබා දීමට කටයුතු කරන බවත්, ඒ වන තුරු Screen lock පහසුකමෙහි ඇති "immediately" යන option එක භාවිතා කිරීමෙන් මේ මගින් ආරක්ෂා වීමට හැකියාව ඇති බවත් පෙන්වා දෙනවා.

කොහොම වුණත් මේ fix එක රැගත් update එක ලබා දෙනු ලබන කාළසීමාවක් පිළිබඳව නම් තවමත් දැනගන්නට ලැබෙන්නේ නැති වුවත්, මෙය security bug එකක් නිසාවෙන් ඉතාමත් ඉක්මණින් ම එය ලබා දෙනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා මීට අදාල Reddit Thread එක හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.