ශ්‍රී ලංකාව ගෝලීය AI කේන්ද්‍රස්ථානයක් කිරීමේ දැක්ම පෙරදැරිව 99x වෙතින් ‘Agentri AI’ එළිදැක්වේ

ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන 99x, සිය නවතම Agentic AI නවෝත්පාදනය වන ‘Agentri AI’ පසුගියදා කොළඹ Cinnamon Grand හිදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී නිල වශයෙන් එළිදැක්වීය. මෙම එළිදැක්වීමේ ප්‍රධාන අරමුණ වූයේ, සමාගමේ ගෝලීය දැක්ම, නව වෙළඳපොළ ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකාව AI නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ අභිලාෂය මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමයි.

මෙම අවස්ථාව සඳහා 99x Asia හි නිර්මාතෘ මනෝ සේකරම්, 99x නෝර්වේ හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී Odd-Sverre Østlie, ප්‍රධාන විධායක නිලධාරී හසිත් යග්ගහවිට සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ෂෙහානි සෙනෙවිරත්න ඇතුළු 99x නායකත්ව කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

Agentri AI platform එක

උත්සවය ආරම්භ කරමින් 99x නිෂ්පාදන ඉංජිනේරු අංශයේ ප්‍රධාන විධායක නිලධාරී හසිත් යග්ගහවිට මහතා, මෙම නව එළිදැක්වීම පිළිබඳව අදහස් දැක්වීය. ‘Agentri AI’ යනු 99x විසින්ම නිර්මාණය කරන ලද ‘Agentic Orchestrator Platform’ එකක් බව ඔහු හැඳින්වීය. 

Generative AI යනු දැවැන්ත ඉදිරි පියවරක් වුවත්, සැබෑ පරිවර්තනයක් සිදුවන්නේ සංකීර්ණ ව්‍යාපාරික අභියෝග විසඳීම සඳහා AI agents ඒකාබද්ධ කිරීමෙන් වන අතර Agentri AI යනු එම ඉංජිනේරු විශේෂඥතාව, නවෝත්පාදනය සහ මානව තීක්ෂ්ණ බුද්ධිය ඒකාබද්ධ කරන බහු-පියවර පද්ධතියක් බව ඔහු ඔහු අවධාරණය කළේය.

99x සමූහයේ ගෝලීය ගමන පිළිබඳව අදහස් දැක්වූ සමූහ ප්‍රධාන විධායක නිලධාරී Odd-Sverre Østlie මහතා, සමාගම යුරෝපය, ඇමරිකාව සහ ආසියාව පුරා ස්ථාවරව ව්‍යාප්ත වන බව පැවසීය. "අපගේ ඉලක්කය වන්නේ අප ක්‍රියාත්මක වන සියලුම කලාපවලින් ඉහළම තාක්ෂණ කුසලතා එක්රැස් කර ගත හැකි, දිගුකාලීන වටිනාකමක් සහිත ඉංජිනේරු හවුල්කරුවෙකු වීමයි". මෑතකදී නෝර්වේ හි 'Solvr' සහ 'Clave' මෙන්ම පෝලන්තයේ 'Fabres' සමාගම් අත්පත් කර ගැනීම (M&A) මීට උදාහරණ ලෙස ඔහු දැක්වීය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික කුසලතා සංචිතය පිළිබඳව ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ෂෙහානි සෙනෙවිරත්න මහත්මිය අදහස් දක්වමින්, "AI සහ product engineering කුසලතා සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත්, විශේෂයෙන්ම, AI tools ඵලදායීව භාවිතා කිරීමට දක්ෂ ඉංජිනේරුවන්ගේ අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බවත්, ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන rapid proof-of-concepts ලබා දීමට එය අත්‍යවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය.

99x සමාගම, දේශීය විශ්ව විද්‍යාල සමඟ එක්ව කර්මාන්ත සැසි, මාර්ගෝපදේශන වැඩසටහන් සහ 'hackathon' පැවැත්වීම හරහා, ශ්‍රී ලංකාවේ මීළඟ AI කුසලතා පරපුර පෝෂණය කිරීමට සක්‍රීයව දායක වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම එළිදැක්වීමේ උත්සවය නිමා කරමින්, විශේෂ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් ද පැවැත්විණි. 'Agentic AI' හි ඉදිරි ගමන් මග, 99x සමාගමේ අනාගත innovation roadmap එක පිලිබඳ මෙන්ම, ශ්‍රී ලංකාවේ මීළඟ AI කුසලතා පරපුර පෝෂණය කිරීම සඳහා වන සමාගමේ අඛණ්ඩ කැපවීම පිළිබඳව ද එහිදී මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කෙරිණි.