මීට දින කිහිපයක පෙර WhatsApp Payments පහසුකම බ්‍රසීලය වෙත ලබාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

WhatsApp හරහා මුදල් ගෙවීමේ සහ ලබාගැනීමේ හැකියාව බ්‍රසීලියානු WhatsApp පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කරයි
WhatsApp, Instagram සහ Facebook හරහා මුදල් ගෙවීමේ හැකියාව ලබාදෙන Facebook Payනම් වූ ‍සේවාවක් එළිදැක්වීමට Facebook සමාගම සූදානමින් සිටින බව පසුගිය වසරේනොවැම්බර් මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති. WhatsApp, Instagram සහ Facebook හරහා මුදල් ගෙවීමට Facebook Pay නමින් අලුත්සේවාවක් හඳුන්වාදීමට සූදානම් වෙ…

මිලියන 120 කට වඩා අධික සාමජිකයන් සංඛ්‍යාවක් සමඟින් ලොව දෙවැනි විශාලතම WhatsApp පරිශීලකයින් පිරිස සිටින රට වන බ්‍රසීලයේ මහ බැංකුව විසින් මෙම සේවාව සඳහා සහාය දැක්වීම නවත්වන ලෙස Visa සහ Mastercard යන ආයතන ‍ද්විත්වයට දැනුම් දී ඇති අතර, එයට අනුකූලව කටයුතු නොකළ‍හොත් ඉදිරියේදී ඊට විරුද්ධට නඩු සහ සම්බාධක පැවරීමට කටයුතු කරනු ලබන බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

තරඟකාරී වාතාවරණය ආරක්ෂා කිරීම සඳහා තමන් මෙම තීරණය ගෙන ඇති බවත්, එම තීන්දුවට අනුකූල වීමට සමාගම් අපොහොසත් වුවහොත් ඔවුන්ට දඩ සහ පරිපාලනමය අනුමැතියට යටත් විය යුතු බවත් බ්‍රසීල මහ බැංකුව බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ තාවකාලික අවහිර කිරීම සිදු කර ඇති කාලසීමාව තුළ බ්‍රසීලයේ payment infrastructure එක පිළිබඳව අධ්‍යයනය කර WhatsApp Payments සේවාව ඔවුන්ගේ නියාමනයන්ට අනුගත වන්නේද නැද්ද යන්න සොයාබැලීමක් සිදු කිරීමට එරට බැංකු වලට උපදෙස් දී ඇති බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මීට මසකටත් වඩා අඩු කාලයකට පෙර නිකුත් කල මෙම Brazil - WhatsApp Payment පහසුකම මෙලෙස අත්හිටුවීමට සිදුවීම WhatsApp සමාගමේ ද විමතියට කරුණක් වී ඇති අතර 2018 වර්ෂයේදී මෙය ඉන්දියාවේදී අත්හදාබැලීමට සූදානම් වූ අවස්ථාවේදී ද මේ ආකාරයේ නීතිමය ගැටළු වලට මුහුණදීමට Facebook ආයතනයට සිදු වුණා.

දැනට පවතින වාතාවරණය අනුව Mastercard සහ Visa අත්හිටුවීමට කටයුතු කලත්,

"අපගේ ඉලක්කය වන්නේ විවෘත ආකෘතියක් භාවිතා කරමින් බ්‍රසීලයේ සිටින සියලුම WhatApp පරිශීලකයින් හට Digital Payment පහසුකම ලබා දීමයි. මෙය සිදු කිරීම සඳහා අපි දේශීය හවුල්කරුවන් සහ බ්‍රසීල මහ බැංකුව සමඟ දිගටම කටයුතු කරන්නෙමු”

යනුවෙන් WhatsApp සමාගම මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මීට අමතරව WhatsApp ආයතනය විසින් බ්‍රසීල මහ බැංකුව විසින් හඳුන්වාදීමට සූදානමින් සිටින ක්ෂණික QR ගෙවීම් මාධ්‍ය වන PIX සමඟද සම්බන්ධ වීමට කටයුතු කරනු ලබන බවත්, එම සේවාව ද WhatsApp සඳහා භාවිතා කිරීමට සූදානමින් සිටින බවත් WhatsApp ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.