ශ්‍රී ලාංකේය Smartphone වෙළඳපොළේ අනාගතය කෙබඳු වේවිද? මේ TechNewsLK හි අප ඒ පිළිබඳව තබන සටහනක්

Smartphone එකක් යනු සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන අතර, අප මේ පසු කරන Digital ලෝකය තුළ එය තවත් එක් හුදෙක් මූලික අවශ්‍යතාවයක් පමණයි.

ශ්‍රී ලංකාව තුළ වෙන කවරදාකවත් නැති ආකාරයෙන් මේ වන විට Smartphone වෙළඳපොල හැකිළෙමින් තිබේ.

රජය විසින් අත්‍යවශ්‍ය නොවන හාණ්ඩ සඳහා ආනයන සීමා පැනවීමත් සමඟ මීට මාස කිහිපයක පෙර සිටම Smart phone වල මිල විශාල ලෙස ඉහල ගියා. මේ නිසා Smartphone ව්‍යාපාරය අභියෝගයකට මුහුණ දුන් අතර ගෙවන මිලට සාධාරණ නොවන උපාංග වලට යොමු වීමට ශ්‍රී ලාංකිකයින්ට සිදු වීම කණගාටුවට කරුණක්.

මේ අතර මැයි 30 වන දා සිට හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිද මේ වන විට ක්ෂේත්‍ර රැසකට බලපා තිබෙන අතර smartphone ව්‍යාපාරය ඒ අතර ඉහළින්ම තිබෙන බව දැක ගත හැකියි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ චීනයේ නිශ්පාදිත Entry level දුරකථනයක් රුපියල් 50,000 ද ඉක්මවා ඇති අතර Mid-range දුරකථන වල  මිල රුපියල් ලක්ශයද ඉක්මවා තිබෙනවා.

මෑතකදී Samsung සමාගම නිකුත් කල Mid Range දුරකථනයක් වෙන Galaxy A73 5G දුරකථනය ශ්‍රී ලාංකීය වෙළඳපොල තුළ ලක්ශ 2 කට ආසන්න මිලකට මිල ගණන් දක්වා තිබෙනු දැකිය හැකියි. මීට සමාන්තරව ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රිය වන Apple උපාංග වල මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට තිබෙනවා.

මෙම ගණන් ඉදිරියේදී රුපියල අවප්‍රමාණය වීම හමුවේ තවදුරටත් ඉහල යනු ඇති අතර බොහෝ වෙළදුන් පවසන පරිදි මිල ගණන් විමසූ විට පාරිභෝගිකයන් දුරකථන මිලදී නොගන්නා තත්වයට පත්ව තිබෙනවා.

එමෙන්ම දුරකථන සඳහා Back cover ඇතුළු අනෙකුත් අමතර කොටස් වල මිලද ඉහළ යමින් තිබෙන අතර, ඒ ආශ්‍රිත අලුත්වැඩියා හා සේවා ගාස්තු මෙන්ම 2nd hand market එක තුළ ද මෙම ඉහළ යාම නිරීක්ෂණය කළ හැකියි.

ජංගම දුරකථන ආශ්‍රිත ව රැකියා කරන විශාල ප්‍රමාණයක් මෙම තත්වය තුළ අපහසුතාවයට පත්ව තිබෙන අතර, විශේෂයෙන්ම මාර්ගගත අධ්‍යාපනය, නැතිනම් online අධ්‍යාපන කටයුතු සිදු කරන ශිෂ්‍ය ප්‍රජාවටද මෙය අහිතකර ලෙස බලපා තිබෙන බව මෙහිදී සඳහන් කලයුතු වෙනවා.

මෙම තත්වය හමුවේ ගුණාත්මක වෙළඳනාමයකින් හොඳ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට ඇති අවස්ථාවන් අහිමි කර තිබෙන අතර, ඒ වෙනුවට ගුණාත්මක බවින් අඩු චීන මාදිලි වෙත යොමු වන්නට පාරිභෝගිකයන්ට සිදු වී තිබීම කණගාටුදායක තත්වයක් බව පෙන්වා දිය හැකියි.

දැනට ඇති පුරෝකතනයන් අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය හා ගෙවීමේ හැකියාවන් නුදුරු දිනෙකදී යථා තත්වයට පත් නොවන අතර මෙම වෙළඳපොල හැකිලීම සෑම ක්ෂේත්‍රයකටම මෙම වසර හා ඊළඟ වසර පුරාවටම අත්විඳීමට සිදු වනු ඇති.

මේ නිසා ඔබ සතු Digital උපාංගය වෙන කවරදාටත් වඩා හොඳින් පරෙස්සම් කලයුතු කාලයකට ඔබ අප සැම එළඹ ඇති අතර, ඊට හේතුව නම් විකල්ප වල ඇති අතිශය සීමා කාරී බවයි.


මේ ගැන මීට වඩා දේවල් ඔයාලත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.