තම සේවකයන් හට ලියුකේමියාව වැනි රෝග වැළඳීම පිළිබඳව Samsung සමාගම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

තම කර්මාන්තශාලා වල සේවය කරන සේවකයන් හට ආරක්ෂාකාරී සේවා වටපිටාවක් නිර්මාණය කිරීමට අපොහොසත් වීම නිසාවෙන්, ඔවුන් ලියුකේමියාව, මොලයේ ඇති වන ඉදීමීම් ආදී රෝග වලට ගොදුරු වන බවට Samsung Electronics සමාගමට විරුද්ධව වසර ගණනාවක් තිස්සේ මතභේදයන් ඇති වී තිබුණා.

2007 වර්ෂයේ මේ පිළිබඳව වාර්ථා වූ පළමු සිදුවීමෙන් වසර 11කට පමණ පසු පසුගිය සතියේ මේ සඳහා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට හා පිළියමක් යෙදීම සඳහා කටයුතු කිරීමට Samsung සමාගම එකඟ වී තිබෙනවා.

මේ අනුව ඔවුන්ගේ semiconductor, එහෙමත් නැතිනම් අර්ධ සන්නායක නිෂ්පාදනාගාර වල සහ liquid crystal display (LCD) නිශ්පාදනාගාර වල තිබෙන අනාරක්ෂිත සේවා වටපිටාව ආරක්ෂිත කළ යුතුව තිබුණු බවටත්, මේ අනාරක්ෂිත වටපිටාව නිසාවෙන් භයානක රෝගී තත්ත්වයන්ට තම සේවකයින් ගොදුරු වූ බවටත් ඔවුන් පිළිගෙන තිබෙනවා.

මීට අමතරව 1984 වර්ෂයේ සිට මේ දක්වා මෙසේ රෝගයන්ට ගොදුරු වූ රෝගීන් හට ඇමෙරිකානු ඩොලර් 132,000 ක් දක්වා වන්දි මුදලක් ගෙවීමට ද එකඟ වී තිබෙනවා.

මේ ගැන වාර්ථා වන තොරතුරු අනුව මෙයට ගොදුරු වූ බොහෝ පවුල්, Samsung සමාගම සමඟ වූ නීතිමය කටයුතු හමුවේ ඒවා ඔප්පු කර පෙන්වීමට අපොහොසත් වීම නිසා, Samsung සමාගමෙන් හෝ රජයෙන් වන්දි මුදලක් ලබාගැනීමට නොහැකි වීමෙන්, ඔවුන්ගේ රෝහල් ගාස්තු ගෙවාගැනීමට නොහැකිව, තම නිවෙස් පවා විකිණීමට කටයුතු කර තිබෙනවා.

‍පසුගිය සති කිහිපයක කාළසීමාව ඇතුලත Samsung සමාගම හා සේවකයන් කණ්ඩායමක් අතර ඇති වූ එකඟතාවයක් මත මේ සමාව ඉල්ලීම හා වන්දි මුදලක් ලබා දීමට Samsung සමාගම එකඟ වී තිබෙනවා.

2007 වර්ෂයේදී ලියුකේමියාව හේතුවෙන් මියගිය 22 හැවිරිදි Hwang Yu-mi ගේ පියා වන Hwang Sang-gi වෘත්තියෙන් රියදුරෙකු වන අතර, Samsung සමාගමත් සමඟ එකඟ වී මුදලක් ලබා ගැනීමට කටයුතු නොකර මෙම භයානක තත්ත්වය ලොවට හෙළි කර අදාල කර්මාන්තශාලා වල working environment ආරක්ෂිත කිරීම කෙරෙහි අදාල පුද්ගලයන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ සිදුවීම අළලා 2014 වර්ෂයේදී දකුණු කොරියාවේ Another Promise නම් වූ චිත්‍රපටයක් ද නිර්මාණය වී තිබෙනවා.

මේ අනුව තම සේවකයන් හට ඉපදෙන දරුවන්ගේ මොලයේ ඇතිවන දුර්වලතා වලට ද වන්දි ලබා දීමට Samsung සමාගම එකඟ වී ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, BBC වෙබ් අඩවිය හා AP News වෙබ් අඩවිය භාවිතා කළ හැක.