80W Fast Charging පහසුකම සමඟ SuperVOOC 3.0 තාක්ෂණය හඳුන්වාදීමට Oppo සමාගම සූදානම් වෙයි

ජංගම දුරකථන වල තිරය, කැමරාව හා අනෙක් පහසුකම් වැඩිදියුණු වන විට එහි බර දැරීමට බොහෝ විට සිදුවන්නේ දුරකථනයේ බැටරියටයි.

මේ නිසා ජංගම දුරකථන වලට mAh අගයෙන් වැඩි බැටරි හඳුන්වාදීමට නිශ්පාදකයින් කටයුතු කරන නමුත් ඒවා ඉක්මනින් charge කරගැනීමට ද නව තාක්ෂණයන් සොයා යෑමට නිශ්පාදකයින්ට සිදුව තිබෙනවා.

Oppo සමාගම මේ සම්බන්ධයෙන් අනෙක් සමාගම් ඉක්මවා යෑමට සමත් වී ඇති අතර ඔවුන් විසින් හඳුන්වා දුන් VOOC charging පහසුකම ඉතාම සාර්ථකව බොහෝ Oppo උපාංග වල භාවිතා වනවා.

ඔවුන් විසින් දැනටමත් 65W fast charging හැකියාවෙන් යුත් SuperVOOC 2.0 තාක්ෂණය හඳුන්වා දී තිබෙන අතර එය 4000mAh බැටරියක් මිනිත්තු 30 ක් තුළ 100% දක්වා charge කරදීමට සමත් වෙනවා.

මීට අමතරව Xiaomi සමාගම ද සිය RealMe X50 Pro වෙත SuperDash Flash Charge ලෙස ලබාදී ඇත්තේ Oppo සමාගමේ මෙම SuperVOOC Charging තාක්ෂණයම වනවා.

Oppo සමාගම දැන් සූදානම් වන්නේ SuperVOOC 3.0 තාක්ෂණය හඳුන්වා දීමට වන අතර බොහෝ දුරට එය 2021 වසරේදී එළිදැක්වෙනු ඇති බවත්, මෙම තාක්ෂණය හරහා 4,000 mAh බැටරියක් මිනිත්තු 15 ක් හෝ ඊට මදක් වැඩි කාලයක් තුළ 100% දක්වා charge කරගත හැකි බව Gadgets 360 වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

එමෙන්ම Oppo සමාගම විසින් මේ වන විට 30W Wireless Charging පහසුකම ද හඳුන්වා දී ඇති නමුත් එය දැනට චීනයට පමණක් සීමා වී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.