කැසට් පටය ලොවට හඳුන්වාදුන් Lou Ottens මහතා 94 වැනි වියෙහිදී දිවි සැරියෙන් සමුගනියි

ලොව පුරා සංගීතයට සවන්දිය හැකි ක්‍රමයක් අතේ ගෙන යා හැකි තත්ත්වයට පත් කිරීමට මූලික අඩිතාලම වුණු කැසට් පටය ලොවට හඳුන්වාදුන් Lou Ottens මහතා පසුගිය මාර්තු 6 වැනි දින දිවි සැරියෙන් සමුගෙන ඇති බව වාර්තා වෙනවා.

1926 වර්ෂයේ උපත ලැබූ ඔහු මිය යන විට වසර 94ක් වූ අතර, ඔහු උපන් නගරය වන නෙදර්ලන්තයේ Duizel වලදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

1960 දශකයේ මුල් භාගයේදී Phillips ආයතනයේ සේවය කළ මොහු විසින් එවකට පැවති ප්‍රමාණයෙන් විශාල මෙන්ම මිලෙන් අධික reel-to-reel tape තාක්ෂණය වෙනුවට, සාමාන්‍යය ජනතාවට පහසුවෙන් භාවිතා කළ හැකි, මිලෙන් අඩු විසඳුමක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබුණා.

ඒ අනුව 1963 වර්ෂයේදී Berlin Radio electronics fair event එක අතරතුරදී මොහු විසින් එළිදැක්වුණු මුල්ම කැසට් පටය ඉතාමත් ඉක්මණින් ලොව පුරා ව්‍යාප්ත වන්නට වූ අතර එතැන් සිට මේ දක්වා කැසට් පට බිලියන 100කට අධික ප්‍රම‍ාණයක් ලොව පුරා අලෙවි වී ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙලෙස එළිදැක්වූ කැසට් පට තාක්ෂණය ලොව පුරා අනෙකුත් සමාගම් වලට නොමිලයේ භාවිතා කිරීමට අවසර ලබාදීමට ද මොහු කටයුතු කරනු ලැබූ අතර එය මෙම තාක්ෂණය ලොව පුරා ප්‍රචලිත වීමට ද එය මහත් රුකුලක් වී තිබෙන බව දැකගත හැකි වෙනවා.

එමෙන්ම 1982 වර්ෂයේදී Sony සහ Philips සමාගම් එකතු වී ප්‍රථම compact disc (CD) එක නිර්මාණය කිරීමේදී ද ඒ සඳහා Philips සමාගමේ කණ්ඩායම වෙනුවෙන් Lou Ottens මහතා ඔහුගේ තාක්ෂණික සහයෝගය ලබාදී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය සහ Washingtonpost වෙබ් අඩවිය භාවිතා කළ හැක.