ZTE සමාගම තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව ඇමරිකාවේ FCC එක විසින් නිවේදනය කරයි

ZTE සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන 5G equipments ඇතුළු උපාංග සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (Federal Communications Commission-FCC) විසින් තහවුරු කර තිබෙනවා.

Bloomberg වෙබ් අඩවිය විසින් මේ පිළිබඳ තොරතුරු හෙළිදරව් කර තිබෙන අතර එයට අනුව Huawei සමාගමට සිදු කර තිබෙන ආකාරයේ තහනම් කිරීමක් ZTE සමාගමටත් සිදු කරන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා දෙසැම්බර් 10 වන දින යළි රැස්වී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවිය හැකි උපාංග නිපදවන සමාගම් ලැයිස්තුවේ ZTE සමාගම මේ වන විටත් රැඳී සිටින අතර, ඒ නිසා ZTE සමාගම විසින් පසුගිය ජුනි මාසයේදී එම තීරණය නැවත සලකා බලන ලෙස ෆෙඩරල් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.

මෙම නව තහවුරු කිරීම පැමිණෙන්නේ ZTE සමගමේ එම ඉල්ලීම අනුව අදාළ තීරණය සම්බන්ධයෙන් සිදුකරන ලද යළි සලකා බැලීමකින් අනතුරුව වීම විශේෂත්වයක් වන අතර, FCC හි සභාපති Ajit Pai විසින් මෙම තීරණය තහවුරු කර තිබෙනවා.

කෙසේ වුවත් ZTE සමාගම විසින් සිය 5G equipments වලින් ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තර්ජනයක් සිදුවනවාය යන චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන නමුත්, චීන රජයේ නීති අනුව චීන සමාගම් හරහා වෙනත් රටවල බුද්ධි තොරතුරු චීන රජයට ලබා ගැනීමට ඇති හැකියාව යන කාරණය ප්‍රතික්ෂේප කර නැති බව Ajit Pai විසින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

කොහොම නමුත් Huawei සමාගම මෙන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමක් ZTE සඳහා ද සිදුකරන බව දැනට තහවුරු වී නැති අතර, ලොව ප්‍රමුඛ පෙළේ 5G equipment සැපයුම්කරුවන් දෙදෙනෙකු (Huawei හා ZTE) එකවර තහනම් කිරීම සිදුකලහොත් එය ඇමරිකානු කුඩා ව්‍යවසායකයින්ට ගැටළු ඇති කරනු ඇති බව Bloomberg වෙබ් අඩවිය අනතුරු අඟවා තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.