රෝබෝ තාක්ෂණය ඔස්සේ සජීවීකරණය කරන ලද ඩොල්ෆින් සත්වයින් නිර්මාණය කිරීම හරහා උද්‍යානවල හා මින්මැදුරු වලට යොදාගන්නා සැබෑ ඩොල්ෆින් සත්වයින්ගේ සංඛ්‍යාව අඩුකරගත හැකිවනු ඇති බව එක්සත් ජනපදයේ Animation firm ආයතනයක් වන Edge innovation ආයතනය පෙන්වා දෙනවා.

දැනට ලොවපුරා මින්මැදුරු හා උද්‍යානවල සැබෑ ඩොල්ෆින් සතුන් 3000 කට වැඩි ප්‍රමාණයක් භාවිතා වන අතර, මෙම ඇතැම් සතුන් නීතිවිරෝධීව ගංගා වලින් හෝ සාගරයෙන් අල්ලා ගත් සතුන් බව සඳහන් වෙනවා.

උද්‍යානවල හා මින්මැදුරු සඳහා රොබෝ තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද සජීවීකරණ ඩොල්ෆින් සත්වයින් භාවිතා කිරීම මගින්, මෙලෙස අල්ලා ගන්නා සැබෑ ඩොල්ෆින් සතුන්ට සිදුවන හානිය අවම කරගත හැකි බව මෙම ආයතනය පෙන්වාදෙනවා.

මීටර් 2.5 ක පමණ දිගකින් යුත් මෙම ඩොල්ෆින් සත්වයා නිර්මාණය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 5-7 ත් අතර මුදලක් වැය වී තිබෙන අතර Medical grade Silicon වර්ගයේ සමක් මෙම සත්වයා නිර්මාණය කිරීම වෙනුවෙන් භාවිතා කර තිබෙනවා.

සැබෑ ඩොල්ෆින් සත්වයෙකුගේ පෙනුමට 100% ක්ම සමානව නිර්මාණය කර ඇති මෙම ඩොල්ෆින් සත්වයාට සැබෑ ඩොල්ෆින් සතෙකුගෙ ක්‍රියාකාරකම් අනුකරණය කිරීමේ හැකියාව ද ලබා දී තිබෙනවා.

උද්‍යාන, මින් මැදුරු, සර්කස් ආදිය සඳහා වනසතුන් භාවිතා කිරීම අවම කිරීම මෙම ආයතනයේ මූලික අරමුණ වන අතර, ඇතැම් යුරෝපීය රටවල් මේ වන විටත් සර්කස් ආදිය සඳහා වනසතුන් භාවිතා කිරීම සීමා කිරීම හෝ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටද කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ ABC වෙබ් අඩවිය භාවිතා කළ හැක.