Tesla, Volkswagen, BMW, Daimler, Honda, Toyota සහ Volvo මෝටර් රථ සදහා ප්‍රධාන බැටරි සැපයුම්කරුවෙක් වශයෙන් කටයුතු කරන Contemporary Amperex Technology Co. Ltd. සමාගම විසින් සැතපුම් මිලියනයකට වඩා ධාවනය කළ හැකි වැඩි බලයක් සහිත බැටරියක් නිපදවා ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

එමෙන්ම මෙම සමාගම ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා බැටරි නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගම ද වනවා.

විදුලි බලයෙන් ධාවනය කරන වාහන සඳහා සාමාන්‍යයෙන් දැනට පවතින බැටරි වෙනුවෙන් නිෂ්පාදකයින්ගේ වගකීම පවතින්නේ වසර 3 සිට 8 දක්වා සැතපුම් 60,000ත්, 150,000ත් අතර දුර ප්‍රමාණයක් ධාවනය කරවීම සඳහා පමණි.

කොහොම නමුත් මේ අලුත් බැටරිය වසර 16 ක ජීව කාලයක් පවතින බවත්, සැතැපුම් මිලියන 1.24ක් පමණ ධාවනය අවසන් කරන තුරු battery replace කිරීමක් අවශ්‍ය නොවන බවත් මේ සමාගමේ සභාපතිවරයා වන Zeng Yuqun මහතා Bloomberg පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙහි නිෂ්පාදන පිරිවැය අද අප දකින සාමාන්‍ය විදුලි බැටරියක නිෂ්පාදන පිරිවැයට වඩා 10%ක පමණ සුළු ප්‍රමාණයකින් පමණක් ඉහළ යන බව ඔහු ප්‍රකාශයට පත් කිරීම වන අතර කිසියම් සමාගමකට මෙය අවශ්‍යය නම්, නිෂ්පාදනය සඳහා සියල්ල සූදානම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ CATL ආයතනය ප්‍රසිද්ධ Electric මෝටර් රථ සමාගමක් වන Tesla සමාගම සමඟින් ද ඉතාමත් සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර වසර දෙකක කාලයක් තුළ Tesla Model 3 එකට අදාල battery නිෂ්පාදනය කිරීම සඳහා වන ගිවිසුමකට ද පසුගිය පෙබරවාරි මස මොවුන් එකඟ වනු ලැබුවා.

එමෙන්ම Tesla සමාගම විසින් million-mile battery එකක් පිළිබඳව ද නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර මේ අනුව මේ අලුත් CATL battery එක අන්තර්ගත වන පළමු මෝටර් රථය Tesla මෝටර් රථයක් වීමේ හැකියාවක් ද පවතින බව PC Mag වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙම සුවිශේෂී බැටරිය විදුලි මෝටර් රථ කර්මාන්තයේ දැඩි සලකුණක් වන අතර මේ හරහා මෝටර් රථ නිෂ්පාදකයින් ඔවුන්ගේ EV මාදිලි වෙත, රියදුරන් පොළඹවා ගැනීමට නිසැකවම උත්සාහ කරනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා PC Mag වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.